තරු වෙන්න ගිහින් පර වී වැටෙන සුවඳ කැකුළුවල ඛේදවාචකය
“හොඳම දේ දරුවන්ට දෙන්න” යැයි වී. අයි. ලෙනින් කීවේය. එය දරුවන් විෂයෙහි රාජ්‍ය නායකයෙකු කළ විශිෂ්ටම ප්‍රකාශයකි. එදා ලෙනින්ලා රුසියාව ගොඩ නැඟුවේ එසේය. එහෙත් අප අද ජීවත් වෙන්නේ උසස් අරමුණුවලින් වියුක්ත වෙමින් යන මානව සමාජයකය. එසේ වෙද්දී ලෝකයේ බහුතරයක් දරුවන්ට ලැබෙන්නේ නොලැබිය යුතු ඉතාම නරක දේය. ඔවුහු අසීමාන්තික ආශාවන්ගෙන් පිරී ගිය අතෘප්තිකර මිනිසුන් සහිත ලෝකයක දැන හෝ නොදැන අපයෝජනය වෙමින් සිටිති.
අප නෙත් මානයේ දී දරුවන් විෂයෙහි මුදාහැරෙන එක් බිහිසුණු ව්‍යසනයක් වන්නේ තරු වැඩසටහන්ය.
තරු බවට පත් වීමේ අපේක්ෂාවෙන් රියලිටි තරගවලට සහභාගි වන ළමයින්ගේ ජීවිත එක්තරා ආකාරයක ඛේදවාචකයකි. එය විමසීම මේ ලිපියේ මූලික අරමුණය.
රියලිටි වැඩසටහන් ලෝකයට හඳුන්වා දීමේ ඉතිහාසය මීට වසර 18 ක් පමණ ඈතට දිව යයි. බ්‍රිතාන්‍ය ITV නාලිකාවෙන් POP IDOL යන ගායන කුසලතා මනින වැඩසටහනක් ලෙස 2001 වසරේදී මුල්ම රියැලිටි වැඩසටහන ආරම්භ විය. 2002 වසරේදී AMERICAN IDOL යන නමින් ඇමරිකාවේදී ද, 2004 වසරේදී ඉන්දියාවෙන් INDIAN IDOL යන නමින් ද එයට සමාන වැඩසටහන් ආරම්භ විය. 2005 වසරේදී ප්‍රථම ලාංකික රියැලිටි වැඩසටහන SUPER STAR ලෙස නම් වී පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් ආරම්භ විය. ඒ නවමු අත්දැකීම ඉතා ආකර්ෂණීය වූ අතර එහි උත්කර්ෂය අනෙක් නාලිකා වෙත ද පැතිරී ගියේය. ඒ අනුව අනෙක් නාලිකාද රියැලිටි වැඩසටහන අනුකරණය කරන ලදී.
ළමා රියැලිටි වැඩසටහන් එක්තරා පෞද්ගලික රූපවාහිනියකින් ආරම්භ වන්නේ මේ අතර ය. ඒ පුංචි තරු හොයන්නට ය. විවිධ වයස් සීමාවන්හි සිටින ළමයින්ගේ ගායන නර්තන කුසලතා මැන බැලීමේ තරගයක් විය. ලාංකික ප්‍රේක්ෂකයෝ ළමයින්ගේ දක්ෂතා නැරඹීමට රූපවාහිනිය වටා එක් රොක් වූහ. අනතුරුව කුඩා තරු සොයන රියලිටි වසංගතය සෑම රූපවාහිනී නාලිකාවක්ම පාහේ ආක්‍රමණය කළේය. අඩු වැඩි ප්රමිතීන් අතර රාජ්‍ය රූපවාහිනී ද කුඩා තරු සොයා යෑමේ වෙළෙඳ මෙහෙයුමට ඇද වැටුණේය.
විවිධ අරමුණු, විවිධ වයස් සීමා මෙන්ම විවිධ තරග රටා කේන්ද්‍ර කොට ගත් එකිනෙකට වෙනස් ළමා රියැලිටි වැඩසටහන් කිහිපයක් මේ වන විටත් රූපවාහිනී නාළිකාවන්හි විකාශය වෙයි. එම තරු වැඩසටහන් අද වන විට දරුවකුගේ ලෝකය අවුල් කරන්නට පමණක් නොව මවුපියන්ගේ මවුපිය භාවයේ ගරුත්වය ද පහතට හෙළන තරමට පිරිහීම් ලක්ෂණ පෙන්නුම් කරන අතුරු ආබාධ රාශියකින් යුතු එකක් බවට පත් වී ඇත. ඒ වැඩසටහන්වල ප්‍රධාන ගොදුරක් බවට පත් වී ඇති දරුවන්ගේ තත්ත්වය විමසා බැලීමක් නිසි ප්‍රමිතියකින් සිදු නොවන බවටත්, දරුවන්ගේ ජීවිතයට හානිකර ලෙසින් එම තරු තරග බලපෑම් ඇති කරන බවටත් ළමා මනෝ විශේෂඥයන්, අධ්‍යාපනඥයන් සාධනීයව පෙන්වා දුන්න ද ඒ හඬ එතරම් ප්‍රබල ලෙස මතු වී නැත.
එම තරු තරග සඳහා සහභාගි වන ළමයින්ගේ ජිවිතය තරග කාලය පුරා කිනම් ආකාරයක් ගනී ද යන්න පිටතින් බලාසිටින අයට අනුමාන කළ නොහැකි තරම් වෙහෙසකාරීය. පීඩා සහිතය. අසමබරය. හඹා යා යුතු ඉලක්කය ඔහුට වඩා විශාලය. බාහිර බලපෑම් බහුලය. දරුවන් ඍජුව මෙන්ම වක්‍රකාරයෙන් කායික මානසික සහ වෙනස් කොට සැලකීමේ අපයෝජනයන්ට ලක් වන බව ළමා මනෝ විශේෂඥයෝත්, අධ්යාපනඥයෝත් වැඩිදුරටත් පෙන්වා දෙති. එම වැඩසටහන් සම්පාදකයන් පෙන්වා දෙන්නේ තමන් දක්ෂයන් සඳහා වේදිකාවක් සද්භාවයෙන් නිර්මාණය කර ඇති බවකි. එය අර්ධ සත්‍යයකි. දක්ෂයන් සඳහා තැනෙන වේදිකාව අඳුරු කරමින් මතු වන වාණිජ අරමුණු දරුවන්ට ලැබෙන බව කියන අවස්ථාවේ උපයෝගීතාව අවම කර ඇත.
එම ළමා වැඩසටහන් සඳහා ඉදිරිපත් වන ළමයින් සතිපතා නව නිර්මාණයක් ඉදිරිපත් කළ යුතු වෙයි. ඊළඟ වටයට තේරීම සඳහා විශිෂ්ට ඉදිරිපත් කිරීමකින් තරග කළ යුතු බැවින් පුහුණු වීම් සඳහා දැඩි ලෙස යොමු වීමට සිදු වෙයි. එයට අමතරව පාසල් අධ්‍යාපන කටයුතුවල ද නිරත විය යුතු වෙයි. එම තරු තරග සඳහා ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ වන බව අතපසු වන බව පාසල් වාර්තා තහවුරු කරයි. අධ්‍යාපන කටයුතුවලට අමතරව පාසලේ බාහිර කටයුතු ද මඟ හැරෙයි. එයට අමතරව අධික පුහුණුව ළමා වියේ සිටින දරුවන්ට ශාරීරික අපහසුතා, ආබාධ ඇති කළ හැකි වීමයි. නර්තන පුහුණුව අධික වීමෙන් අතපය ආබාධ ඇති වූ දරුවන් ගැන ද, ගායන පුහුණුව අධික වීමෙන් උගුර ආශ්රිත ස්වර තන්ත්‍රවල ආබාධ හටගත් දරුවන් ගැනද වාර්තා වී තිබේ.
මේ තරගය තුළ දරුවා කැමති ලෝකයේ ඇති ළමයින් සමග ගැවසීම, ක්‍රීඩා කිරීම දරුවාට අහිමි වෙයි. එපමණක් නොව දරුවාට අත්‍යවශ්‍ය නින්ද, , විවේකය, නිසි පෝෂණය ද මඟ හැරෙයි. මේ සියල්ල මඟින් දරුවාගේ දෛනික ජීවිතයේ සමබරතාව ගිලිහී යයි. එහෙත් සුපිරි තරුවක් වීමේ සිහිනය තුළ ඔහු රඳවන්නට මවුපිය වැඩිහිටියෝ සෑම උපක්රමයක්ම බලපෑමක්ම කරති. සුපිරි තරුව වීමෙන් ලැබෙන විශාල ත්‍යාග කන්දරාව පිළිබඳ සිහිපත් දකිමින් මවුපියෝ දරුවා තරගයේ දිගින් දිගටම රඳවති. ඇත්ත වශයෙන්ම මවුපියන් තමන්ට ළඟා වීමට බැරි වූ ලෝකයක දරුවා අභිෂේක කර ඉන් තෘප්තිමත් වීමට දරන වෑයමක් ද මෙහි පසුබිමෙන් තිබේ.
ළමා රියැලිටි වැඩසටහනේ තරග වදින අවස්ථාවේ දී සිදු වන සමහර ක්‍රියා හේතුවෙන් ළමා අයිතිවාසිකම් ද කඩවන බව ප්‍රමාණිකයෝ පෙන්වා දෙති. එනම් ළමයාගේ වයසට ඔබින ළමයා කැමති ගීත වෙනුවට සමහර විටෙක වෙනත් ගීත ගායනය කිරීමට ළමයාට බල කිරීමක් ඇති බව පෙනෙයි. එය දරුවා තෝරාගත් ගීතයක් වුවද දරුවාගේ වයසට නොගැළපේ නම් වැඩිහිටියන් ඒවා වෙනස් කිරීමට පියවර නොගැනීම නිසා එසේ සිතන්නට සිදු වේ. එයට අමතරව sms තරගයකට කොටු කර වෙළඳ භාණ්ඩයක් බවට දරුවා පත් කිරීම, සමහර තරග විනිසුරුවන් ප්‍රසිද්ධ සභාව මැද ළමයාගේ වැරදි ප්‍රකාශ කිරීම, නිවේදන කටයුතු කරන අය ළමයා තරගයෙන් ඉවත් කිරීමට පෙර ඔහු පත් කරන නොසන්සුන් තත්ත්වය සහ තරගයෙන් ඉවත් කිරීම යන කරුණු නිසා පැහැදිලි ලෙසම ළමා අයිතිවාසිකම් ද කඩවන ආකාරය සජීවීව රටට පෙනේ. එමඟින් ද ළමා මනසට දරාගත නොහැකි පීඩනයක් ඇති වන බව පැහැදිලි වේ. එම ළමා තරගකරුවන්ගේ ඇඳුම් ආයිත්තම්ද බොහෝ විට දරුවකුට ගැළපෙන ආකාරයක් නොපෙන්වයි. ගීත ගායනය සහ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම තුළ ද ඇත්තේ වැඩිහිටි අංග චලනයන්ය. දරුවාට තරගයෙන් ඉවත් වන්නට සිදු වූ විට එය මැදහත් සිතින් බාරගෙන ඉදිරියට යන දරුවන්ට සුබපතන අම්මාවරුන් වෙනුවට රූපවාහිනී තිරයේ දිස්වන්නේ අඬා වැලපෙන මවුවරුය. විටෙක ඔවුහු අනෙක් තරගකරුවන්ට සහ සංවිධායකයන්ට දරුණු චෝදනා ද එල්ල කරති.
උපදේශනයට යොමු වූ එවන් දරුවකු පැවසුවේ මව ඉතාම නරක අන්දමින් තමාට බැණ වදිමින් තමා කිසිම වැඩකට නැති කෙනෙකු බව කියමින් දින ගණනක් නොසරුප් කී බවය. එවන් මවුවරුන් දරුවන්ට උගන්වන සාරධර්ම කවරේද?. සත්‍ය වශයෙන්ම ඔවුන් දරුවා මඟින් ගොඩ නඟාගන්නට ප්‍රාර්ථනා කළ ලෝකය බිඳී යෑම ඔවුන්ට දරාගත නොහැකි වී ඇත.
රූපවාහිනී නාලිකාවලින් තැනූ ළමා තරු ඉන් අනතුරුව එළිමහන් ප්‍රසංග වේදිකාව විසින් ඇද ගනී. එම ළමා තරු ප්‍රසංග වේදිකාවල ගීත ගායන කරනු දැකීම දැන් සුලභය. මධ්‍යම රාත්‍රියත් පසු වී තමාගේ වාරය එළඹෙන තෙක් නිදි වරාගෙන සිටින මේ ළමා ළපටින් එම වේදිකාව මත ඔවුන්ගේ වයසට නොගැළපෙන ගීත සහ ප්රසාංගික ඉදිරිපත් කරමින් කරන රංගන අනතුරුව අන්තර්ජාලයේ අලෙවි වේ. සමහර පවුල් ඒ දරුවන් පවුලේ ආදායම් උපද්දවන මාර්ග කරගෙන ඇති හෙයින් දරුවා රැගෙන රටපුරා සංගීත සංදර්ශනවලට සහභාගී වීමට සංචාරය කරමින් සිටී. දරුවන් රැක බලාගැනීම සඳහා මවුපියන් ආදායම් උපයනවා වෙනුවට දරුවා මිල කරමින් මේ කරන ක්‍රියාව දිගින් දිගටම කළ නොහැකිය. මන්ද වසරක් පාසා අලුතින් එක් වන අය වෙනුවෙන් වේදිකාවේ ඉඩ විවර වන විට පරණ අය ඉවතට විසි වන බැවිනි. එවිට දරුවාගේ අධ්‍යාපනය ද, ළමා කාලය ද, ජීවිතය ද විකෘතියක් වී හමාර ය. දරුවෙකු සක්‍රීයව සමාජානුයෝජනය ලබන වයස අවුරුදු 3 – 12 අතර කාලයේදී දරුවාගේ අනාගත පෞරුෂයට හානි වන බරපතළ අත්දැකීම් සියල්ල ලැබී හමාරය.
ඒ සියලු තත්ත්ව සලකා බලා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මනසක් සහිතව ගත කිරීමට ඉඩ ලබාදීම සඳහා දරුවන්ගේ අන්තර්ජාලය භාවිතය වැළැක්වීම පිළිබඳ ඇමරිකානු බලධාරීන්ගේ අවධානයට යොමු වී ඇතැයි පසුගිය කාලයේ වාර්තා විය.
ළමා රියලිටි වැඩසටහන් පිළිබඳ වඩාත් වැඩි අවධානයකින් රටක් ලෙස අප බැලිය යුත්තේ එම පසුබිම තුළය. එම ළමා තරු තරග තහනම් කරන්නට නොහැකි නම් කිසියම් නියාමනයකට ලක් කිරීම බලධාරීන්ගේ වගකීම විය යුතුය. මාධ්‍ය ආචාර ධර්ම හමුවේ දරුවා මාධ්‍ය තුළ හැසිරවිය යුතු ආකාරය හා ළමයා සුරැකීමට බොහෝ විධිවිධාන සකසා ඇතත් එය නොසලකන ළමා රියැලිටි වැඩසටහන් වල ප්රමිිතිය හා සංදර්භය විමසීමක් සිදු කරමින් විධිමත් නියාමනයක් කළ යුතුය. එම වැඩසටහන්වල ආකෘතිය වෙනස් කර, තරගකාරීත්වය ඉවත් කර, සතුට හා ප්‍රහර්ෂය ළං කළ නොහැකිතාක් මේ අපචාරය වඩාත් වැඩි අගයකින් සිදු වනු ඇත.
දරුවකු යනු කවුරුන්දැයි වැඩිහිටියන්ට නොතේරෙන සෑමවිටකම දරුවා අනාරක්ෂිතය. අපේ දරු පැටවු දරුවන් නොහඳුනන වැඩිහිටියන් අබියස ව්‍යසනයට ලක් වෙමින් සිටිති.
Most commented